කින්ෂාසා අගනගරයේ මාර්ග තදබදය බහුලව ඇති ප්‍රදේශවල ස්ථාපිත කර ඇති මනුෂ්‍යයකුට සමාන රොබෝ යන්ත්‍ර දෙකකින් ඒ ප්‍රදේශවල රථවාහන පාලනය සිදුවේ. මේ රොබෝ යන්ත්‍ර ස්ථාපිත කිරීම මගින් මගීන් පාර හරහා ගමන් කිරීමේදී ඔවුන්ට මග පෙන්වන්නටත් රියැදුරන්ට සහාය වන්නටත් රථවාහන නියාමනය කරන්නටත් අවස්ථාව සලසා දී තිබේ. සරලව සඳහන් කරන්නේ නම් මාර්ග ආරක්ෂණය පිළිබඳ සියලු වගකීම් මේ රොබෝවරුන් දෙදෙනාට පවරා ඇත. මෙහි අරමුණ මිලියන 10ක් පමණ ජීවත් වන කින්ෂාසා නගරයේ මාර්ග අනතුරු අවම කිරීම සහ මාර්ග අනතුරු හේතුවෙන් ජීවිත අහිමි වීම වළක්වාලීමයි.
“මේක මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වූ නවෝත්පාදනයක්…”එසේ සඳහන් කරන්නේ කොංගෝ ජනරජයේ මාර්ග ආරක්ෂණය පිළිබඳ ජාතික කොමිසමේ සභාපති මන්ගා විල්මාය.“කාර්යබහුල වෙලාවට රථවාහන තදබදය ලොකු ගැටලුවක්. රොබෝ පොලිස් නිලධාරීන්ගේ බුද්ධියත් එක්ක කින්ෂාසා නගරයේ මාර්ග ආරක්ෂණ කටයුතු දැන් පහසු වෙලා…”ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේය.
අඩි අටක් උස මෙම රොබෝ මාර්ග ආරක්ෂකයා දවසේ පැය 24ම වැඩය. සූර්ය කෝෂවලින් බලගැන්වෙන මෙම රොබෝවේ ලය ප්‍රදේශය කරකැවීමට හැකි ලෙස නිපදවා තිබිම නිසා එයට නොපෙනී මාර්ග නීති කැඩීම බොරුය. එසේම ඒවායේ සවිකර ඇති ආවේක්ෂණ කැමරාවල රථවාහන ගමන් කරන ආකාරය පටිගත වීම විශේෂිතය. මිනිස් සිරුරට සමාන වූ රොබෝ මාර්ග ආරක්ෂකයන් ඇළුමීනියම් සහ මල නොබැඳෙන වානේවලින් නිපදවීම නිසා කින්ෂාසා නගරයේ වසර පුරාම පවතින උණුසුම් කාලගුණයට හොඳින් ඔරොත්තු දේ.
මෙය කොළ සහ රතු බල්බ් දෙකකින් යුතු වන අතර මාර්ග සංඥා ලාම්පු සහ මිනිස් රථවාහන හසුරුවන්නකුගේ ලක්ෂණ මිශ්‍ර වීමකින් නිපදවා තිබිම එහි සාර්ථකත්වයේ රහසයි. පසුකර යන වාහන නවතාලන්නට අදාළ දිශාවට වාහන ගමන් කරවීමට මෙහි ඇති රොබෝට අත් ඉහළට එසැවීමට මෙන්ම නැවීමට දිග හැරීමටද හැකියාව ඇත. එසේම මේ රොබෝ පොලිස් නිලධාරීන්ට කතා කිරීමේ හැකියාව පැවැතීමද පදිකයන්ට මාර්ගය හරහා ගමන් කරන්නට මග පෙන්වන්නට හැකිවීමද සැබෑ රථවාහන පොලිස් නිලධාරියකු හා සම වන්නට මෙයට ඇති සුදුසුකම් වේ.
අව්වට පිච්චෙමින්, වැස්සට තමෛමින් දූවිල්ලෙන් නැහැවී රථවාහන හසුරුවන්නට දැන් පොලිස් නිලධාරීන්ට තවදුරටත් අවශ්‍ය නැත. රොබෝ පොලිස් නිලධාරීන් නුදුරු අනාගතයේදීම ඒ තැන ගනු ඇත. කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා අගනගරයේ රොබෝ මාර්ග ආරක්ෂකයන් කියන්නේ ඒ කතාවය.ප්‍රියංගිකා එදිරිසූරිය ආරච්චි (සී.එන්.එන්. ඇසුරිනි)
